බුදුන්ගේ සිරිපා සටහන සේම දෙව්දත්ගේ පා සටහනකුත් ලංකාවේ තිබෙනවාලු (ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව අනුව දෙව්දත් පා සටහන සොයා ගිය ගමනක් ) තවත් සිරිපා සමයක් ඇරඹීමට ඇත්තේ දින කිහිපයකි. ඒ මෙම දෙසැම්බර් දහසය වනදාට යෙදෙන උඳුවප් පොහොයත් සමගිනි. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී කලින් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්ව සිටි සමන්ත කූඨ වාසී සුමන සමන් දෙවිඳුන් විසින් කරන ලද ඇරයුමක් පිළිගත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද ලාංඡනය සමනළ කඳු මස්තකයෙහි පිහිටුවා වදාළ බව චිර ප්‍රසිද්ධ කරුණකි. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණයට අභියෝග කරන්නකු මුළු මහත් බෞද්ධ ලෝකයේම නැත. නමුදු බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලි වන අන්දමට මහා කාරුණික බුදුන්ට ද සතුරෝ හිඟ නොවූහ. ඒ අතුරින් ප්‍රමුඛතමයා වනුයේ උන්වහන්සේගේ ගිහි කල මස්සිනා වූ දේවදත්ත හෙවත් දෙව්දත් තෙරණුවෝ ය. බුදුන් වහන්සේ සහ ශ්‍රී පාද ස්ථානය පිළිබඳව සඳහන් කෙරෙමින් ඇරඹුණු ලිපියක් තුළින් හිටිහැටියේ දේවදත්තයකු ඉස්මතු වූයේ කෙසේදැයි දැන් ඔබ සිතනු ඇත. එහෙත්, ඊට මුල්වන එක්තරා ප්‍රබල හේතුවක් තිබේ. එනම් ශ්‍රී ලංකාවේ බුදු සිරිපතුල පිහිටි ස්ථානයක් සේම දෙව්දත් තෙරුන්ගේ පාසලකුණක් පිහිටා ඇති අප්‍රකට ස්ථානයක් පිළිබඳ පැහැදිලි තොරතුරක් තිබිම ය. එමෙන්ම, එය සමස්ත ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට දශමයක් වත් නොදත් අපූරු රහසකි. එය 2011 වසරේ ඔක්තෝබරයේ එක් දිනයකි. ගම් නගර බවට පත්වන අතරේ ගමක් බවට පත් නගරයක් වූ දේදුගල මුල් කොට පුවත්පත් විශේෂාංගයක් සම්පාදනය කරනු පිණිස එදිනම මම එහි ගොස් සිටියෙමි. “දේදු කියන්නේ කෙළින්ම අර්ථයක් පළ නොවන වචනයක්. ඉතින් කොහොමද දන්නේ නැහැ නේද දේදුගලට ඒ නම වැටුණේ?” පාළු දේදුගල කඩමණ්ඩියේ මැද පිහිටි සැලකිය යුතු මිනිස් වාස තුන හතරෙන් එකක් වන උප තැපැල් කාර්යාලයේ ආලින්දයේ ඇති ප්ලාස්ටික් පුටුවක වාඩි වූ මම එහි කාර්ය මණ්ඩලයේ දෙතුන් දෙනාගෙන් ඇසීමි. “මෙහාට දේදුගල කියන්නේ ගල් දෙබොක්කාවක් මැද්දෙන් ඇතුළු වුණු පාරක් තිබුණු හින්දය කියලයි මෙහේ පරණ මිනිස්සු නම් කියන්නේ; අතන පරණ පෝස්ට් ඔෆිස් එකට යන පාරේ තමයි ඒ ගල් දෙබොක්කාව තිබිලා තියෙන්නේ; ඔය කියන විදිහට දෙබෑගල තමයි පස්සේ දේදුගල වෙලා තියෙන්නේ” දේදුගල තැපැල් කාර්ය මණ්ඩලයේ රංජිත් ආරියවංශ මහතා එසේ කීය. එහෙත් ඒ වන විට තැපැල් කාර්යාලයට පැමිණ සිටි එකම තැනැත්තා වූ සිහින් සිරුරක් සහිත මැදිවිය ඉක්මවූ උස් මිනිසා අප දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙළනු මට හොඳින්ම පෙනිණ. “අතන දේවදත්තයාගේ ගල හින්දනේ ඔය” හෙතෙම කීයේ බුලත් විට සැපීම නිසා ඇටිකුකුළු පියාපත්වල පැහැය සිහිගන්වන පැහැයකින් යුතු සිය දසන් පෙළ යන්තමින් දක්වමිනි. “දේවදත්තයාගේ ගල; ඒ මොකක්ද අප්පේ?” රංජිත් සමග කරමින් සිටි කතාව මඳකට නතර කළ මම ඔහුගෙන් ඇසීමි. “ඉස්සර දේවදත්තයා ඇවිත් ඔය ගලේ අඩියක් තියලා ගිහින් තියනවා.” මා නොසැලකිලිමත්ව එම පැනය ඇසූ ආකාරය අනුව දෝ ඊට එපමණකින් පමණක් පිළිතුරු දුන් හෙතෙම උප තැපැල් කාර්යාලයේ කවුන්ටරය පාමුල තිබූ ගෝනි මල්ල ද කර හොවාගෙන ඉන් නික්මුණි. ‘මඤ්ඤං යකෙක් ද කොහෙද?” යළි රංජිත් කෙරෙහි අවධානය යොමු කරන අතරේ මම සිතින් මුමුණා ගතිමි. මෙම සිදුවීමෙන් වසරකට හමාරකට පමණ පසුව කිසියම් අවශ්‍යතාවයක් සඳහා මම ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව වන එච්.සී.පී.බෙල් සූරීන් විසින් 1984 වසරේ සම්පාදිත සුප්‍රකට කෑගලු වාර්තාව (report on the Kegalla district of the Province of Sabaragamuwa) පිරික්සමින් සිටියෙමි. එහි එක් තැනක මෙබඳු සඳහනක් විණි. ඒ එෆ්.එච්. ප්‍රයිස් මහතාගේ දිනපොතෙහි 1887 අගෝස්තු 25 දින යෙදූ සටහනක උපුටා ගැනීමකි. එය මෙලෙසිනි. “දේදුගල ලේකම්වරයා පර්වතයක් මත පිහිටි එක් සලකුණක් මා වෙත දැක්වීය. එය දේදුගල සහ උඩුව යන ගම්මාන අතර මායිමේ පිහිටියකි. මෙම සලකුණ බුදුන් වහන්සේගේ පරම සතුරු දේවදත්තගේ පා සලකුණ වශයෙන් සලකනු ලැබේ. එය මුල්කොට දේවදත්ත ගල වශයෙන් මුලින් සැලකුණු මේ ආශ්රිත ප්‍රදේශය පසුව දේදුගල වීලු. මෙම පා සලකුණ මනඃකල්පිත සතකුගේ මෙනි. මේ වන විට එය ජලයෙන් බොහෝ දුරට ඛාදනය වී මැකී යමින් තිබේ.” ඉහත සඳහන් කොටස කියවූ මම මොහොතකට උඩ ගොසින් බිම වැටුණෙමි. ඒ සමගම එදා දේදුගල උප තැපැල් කාර්යාලයට පැමිණ මගේ තැකීමකට ලක් නොවීම නිසා කරබාගෙන ඉන් පිටව ගිය ගැමියාගේ අහිංසක මුහුණ කට මනැසින් මවා ගැනීමට මම අපමණ වෙහෙසක් දැරීමි. එහෙත් වැඩේ හරි ගියේම නැත. දේදුගල උඩුවේ පදිංචි රජයේ විශ්‍රාමලත් කාර්මික නිලධාරි රත්නවීර සිරිසෝම මහතා මගේ හිතවතෙකි. එබැවින් මම එසැනින් ඔහුට දුරකතන ඇමතුමක් දී මෙම දෙව්දත්ගේ පාසලකුණේ කතාව විමසා සිටියෙමි. එවිට ඔහු පවසා සිටියේ උඩුව ග්‍රාමයේ වහරකගම නම් ස්ථානයක ඇති එවැනි සලකුණක් ගැන තමන් ද දන්නා හා කුඩා කල වරක් එය දැක ඇති බවකි. නමුදු අද වන විට ගමේ කිසිවකුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව ද හෙතෙම කීය. “ඒ කියන්නේ දැන් මිනිස්සු කවුරුවත් නිකමටවත් එතන බලන්න හරි යන්නේ නැද්ද?” එහි ඇති ඓතිහාසිකත්වය සලකා මම ඔහුගෙන් ඇසීමි. “මොන මිනිස්සුද? මම දන්න තරමින් නම් බල්ලෙක් වත් යන්නේ නෑ” හෙතෙම සිනාසුණි. “ඒ උනාට කමක් නෑ මට එතන බලන්නම ඕනේ; මොකද පුංචි කාලේ දෙමව්පියෝ මාව වැඩිපුරම හඳුන්වන්න යොදා ගත්තෙත් ඔය නමම තමයි. ඒ හින්දා ඔය මනුස්සයා ගැන මගේ හිතේ පුංචි දයානුකම්පාවකුත් තියනවා” මම ද සිනාසී කීවෙමි. දේදුගලට ග්‍රාම නාමය හිමි වීමට මුලෝත්පාදක වූ දේවදත්තගේ පා සටහන සහිත මෙම ස්ථානයට යාමට රිසි ඔබට ඒ සඳහා මගතොට කීම ද මගේ යුතුකමකි. ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය නගර මධ්‍යයෙන් වැටී ඇති දේදුගල පාර ඔස්සේ කිලෝ මීටර් දහයක් පමණ ඉහළට නැගිය යුතු ය. ඉන්පසු හමුවන උඩුව හන්දියේ බස් නැවතුම අද්දරින් වමට හැරෙන රළු පරළු මාවත ඔස්සේ තවත් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ නගින විට වහරකගම හමුවෙයි. මුළුමනින්ම පාහේ තේ සහ ගෙවතු බෝග වගාව සඳහා වෙන්ව ඇති එම ගම් පියසේ තරමක උස් බිමක මේ කියන කුඩා ගල් පර්වතය පිහිටා ඇත. ඒ අද්දරින් සිල්මාතාවක් වැඩ වෙසෙන ආරාමයක් ද තිබේ. කෙසේ හෝ මෙම රළු පරළු උඩුව මාර්ගය ඔස්සේ නිරුපද්‍රිතව වාහනය ඉහළට ගෙන ගිය අපගේ රියැදුරු ශානකට ද මා මේ මොහොතේ තුති පිදිය යුතු ය. යා හැකි උපරිම දුරක් ගොස් වාහනය නතර කොට මෙම පර්වත ස්ථානය වෙත පාගමනින් යමින් සිටි මටත් සිරිසෝම මහතාටත් අතරමගදී ගැමියන් කිහිප දෙනෙකුම හමුවිණි. එහෙත්, ඒ කිසිවකුගෙන් ඒ සම්බන්ධ පුරාවෘත්තයක් දැන ගත නොහැකි විය. ඊට හේතුව ඔවුන්ගෙන් සමහරකු එක්දහස් නවසිය හැත්තෑව දශකයේ සමගි පෙරමුණු රජයෙන් ලත් ඉඩම්වල පදිංචි වූවන් වීම බව ද මට දැනගත හැකිවිය. එහෙත් අප යන පටුමග අද්දර තේවත්තක සේවය කරමින් සිටි කමල් ඩික්සන් මහතා ඒ සම්බන්ධ ඉතා රමණීය විස්තරයක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය. “ඉස්සර බුදු හාමුදුරුවන්ට ඔය සිරිපාදේ පිහිටුවන්න සමන් දෙවියෝ ආරාධනා කරලා තියෙන්නේ ඔය නාරංගලටලුනේ.” හෙතෙම අද්දර නිම්නයට ඔබ්බෙන් පිහිටි පර්වතයක් දෙසට අත දිගු කළේය. “ඒත් බුදුහාමුදුරුවෝ මොන හේතුවක් නිසා හරි ඒකට කැමති වෙලා නෑ. කොහොම හරි බුදු හාමුදුරුවෝ සිරිපතුල පිහිටුවන්න යන බව දැන ගත්තු දේවදත්තයත් ඇවිත් ඔතන තියන ගල උඩට නැගලා බුදු හාමුදුරුවන්ට පයින් ගහන්න උත්සාහ කළාලු. ඒත් ඉතින් බුදු හාමුදුරුවන්ට එහෙම දෙයක් කරන්න කාටවත්ම බෑනේ; ඒ හින්දා දේවදත්තගේ ඒ පයින් පාරට එතන ගල හැරිලා ගිහින් තියනවා. මේවයේ ඇත්ත බොරු මං දන්නේ නෑ. ඒත් පරණ මිනිස්සු කියන්නේ නම් ඔය කතාවම තමයි. දේවදත්තගේ පාදය ගලේ එරුණු විදිහටලු ඔය ගල හැරිලා තියෙන්නේ.” උඩුව ග්‍රාම නිලධාරී වසම ආසන්නයේ පිහිටි නාරංගල වසමේ ග්‍රාම නිලධාරී කාංචන එදිරිසිංහ මහතා පසුගිය දේදුගල සංචාරයේදී මා දැන හඳුනාගත් හිතවතෙකි. ජනප්රවාදයට අනුව බුදුරජාණන් වහන්සේට පළමුව සිරිපා සටහන තැබිමට සමන් දෙවිඳුන් විසින් ඇරයුම් කළ බව ප්‍රාදේශීය ජනප්‍රවාද වලින් පැවසෙන නාරංගල පිහිටා ඇත්තේ ඔහුගේ වසමේ ය. මේ නාරංගල තෝම්බුව කියලා පරණ තොරතුරු සටහනක් තියනවා; බුදුහාමුදුරුවෝ “මේ නාරංගල කබරගල මුදුනේ සිරිපතුල පිහිටුවන්න සූදානම් වුණු කතාවත් ඒ විස්තරේ තියනවා. ඒ වෙලාවේ සමන් දෙවියෝ නාරං කදකුත් අරගෙන මහලු වේශයෙන් ඔය කබරගලට ඇවිත් තියනවලු. නමුත් බුදු හාමුදුරුවෝ ඔය ගල උඩ සිරිපතුල පිහිටුවන්න හදනකොටම හූනෙක් හඬපු හින්දා ඒ අදහස වෙනස් කළා කියලා තමයි ඉස්සර ජනප්‍රවාදවල තියෙන්නේ. පස්සේ සමන් දෙවියෝ තමන් ගෙනාපු නාරං කද ඔය ගලපල්ලට විසි කළාය කියලා පරණ ජනප්‍රවාදයකුත් මේ පැත්තේ තියනවා. නමුත් අද පරම්පරාවේ හුඟ දෙනෙක් මේවා අහලාවත් නැහැ.” හෙතෙම කීය. මේ ජනප්‍රවාද සියල්ල කිසිදු ඓතිහාසික හෝ ධර්ම ශාස්ත්‍රීය පදනමක් නොමැති අහිංසක ගැමියන්ගේ සිත් තුළ පැන නැගුණු කාව්‍යාත්මක පරිකල්පන බවට කිසිදු සැකයක් නැත. එහෙත්, මෙවන් පරිකල්පන තත්කාලීන ජන විඥානය හා බද්ධ වීමටත් ඒවා මඳ වශයෙන් හෝ අද දක්වා නොනැසී පැවතීමටත් ඉවහල් වන මානව සහ සමාජ විද්‍යාත්මක පසුබිම පිළිබඳව විමසීමට කිසිවෙකුත් ඉදිරිපත් වන බවක් නොපෙනෙයි. එය ජාතික ඛිෙදවාචකයකි. දේවදත්තගේ පා සලකුණ සහිත ගල් පව්ව අද පෞද්ගලික ඉඩමක කොටසකි. එහි වත්මන් හිමිකාරිය වහරකගම ශ්‍රියානි චන්ද්‍රලතා මහත්මියයි. එබැවින් මෙම ස්ථානය වෙත යාමේදී ඇගේ සහය ලබාගැනීමට ද සිරිසෝම මහතාත් මාත් අමතක නොකළෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාත්මක වාර්තාවේ දේවදත්තගේ පා සටහන නමින් සැලකෙන එම සටහන මිනිස් පා සලකුණක් ලෙස එක්වරම හඳුනාගත නොහැක. ඒ අනුව එය මනඃකල්පිත සත්වයෙකුගේය යන්නෙන් ප්‍රයිස් මහතා දක්වන අදහස වඩාත් සාධාරණ බව පෙනේ. එහෙත් අප හා එම පර්වතය මතට නැගුණු රියැදුරු ශානක කීයේ තමන්ට නම් එය පාසලකුණක් වශයෙන් හඳුනාගත හැකි බවකි. “ඔබතුමා කරපු උපකාරවලට බොහොම ස්තූතියි. හැබැයි ඔබතුමා මට ෆෝන් එකෙන් කියපු එක කාරණයක් නම් ඔන්න අද බොරුවුණා.” එම පා සලකුණ අබියසදී මම සිරසෝම මහතාට කීවෙමි. “ඒ මොකක්ද?” ඔහු අසා සිටියේ තරමක විමතියෙන් මෙනි. “ඇයි දැන් මෙතනට බල්ලෙක්වත් එන්නේ නෑ කියපු එක, අර බලන්නකෝ අර උන්නැහේ පා සලකුණ ළඟටම වෙලා ඇන තියාගෙන ඉන්න අපූරුව.” අපට පෙරම එම පා සලකුණ අද්දරට ගොස් හොඳට හරි බරි ගැසී එය සමීපයේ වාඩි වී සිටි ශ්‍රියානි මහත්මිය සමග පැමිණි දඩෝරියා දක්වමින් මම කීවෙමි. සිරිසෝම මහතා තම ගෝත්‍රයේ කිසිවකු එහි නොයන බවට කළ ප්‍රකාශය බොරු කළ යුතු නිසාදෝ එම පා සලකුණේ ඡායරූපයක් ගැනීමට එතැනින් ඉවත් වන මෙන් මා අණ කළද එම සුනඛ රාළ එය තුට්ටුවකටවත් ගණන් නොගෙන එහිම සෑහෙන වේලාවක් රැඳී හිඳිනු දක්නා ලදී. එය ද මෙම ස්ථානයට සහ පුරාවෘත්තයට යමකුට විවිධ ගුප්ත අර්ථකථන ලබා දිය හැකි සිදුවීමකැයි මට සිතෙයි. ඉහළ පැලැම්පිටියේ විශ්‍රාමලත් විදුහල්පති ඩබ්ලිව්. සෝමරත්න සහ දේදුගල ග්‍රාම නිලධාරී එච්.එම්.එස්. ගාමිණී බණ්ඩාර යන මහතුන්ට අපගේ විශේෂ ස්තූතිය. සටහන සහ ඡායාරූප : තිලක් සේනාසිංහ\ Thanura Priyamal
by: Kalum Thushara
Interesting article
ReplyDelete